.

Wednesday, June 26, 2019

වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ?

අප සෞරග්‍රහ මන්ඩලයේ සූර්යා වටා පෘථිවිය ඇතුලු සියළු ග්‍රහයන් සූර්යාගේ ගුරුත්වයට සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරන බව අපි දනිමු. පෘථිවිය ගමන් කරන මාර්ගය පෘථිවි කක්ෂය ලෙස නම් කරයි. පෘථිවියේ අක්ෂ ඇලය අංශක විසිතුනහමාරකි.  පෘථිවියේ උප ග්‍රහයෙකු වවන සඳු අංශක පහක අක්ෂ ඇලයකින් යුතුව පෘථිවියේ ගුරුත්වය ඔස්සේ ගමන් කරයි.    

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු, සඳු ද ග්‍රහයන් ලෙස සැළකෙන අතර සියලු ග්‍රහයන් පොළොව කේන්ද්‍ර කොට ගෙන එය වටා ගමන් කරන ලෙස සළකයි. රාහු සහ කේතු යනුවෙන් ග්‍රහයන් දෙදෙනෙකු අපේ ග්‍රහ මඩුල්ලේ නොමැතිමුත් ඕනෑම පුද්ගල කේන්ද්‍රයක මේ දෙදෙනාගේ නම් සටහන්ව ඇත. පියවි ඇසට නොපෙනෙන මෙම රාහු සහ කේතු කවුද? ජ්‍යොතිෂයේදී මොවුන් ග්‍රහයන් වූයේ කෙසේද?     

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී රාහු සහ කේතු යනුවෙන් හඳුන්වන මේ දෙදෙනා තාරකා නොවේ. එක්තරා ගණිතමය සංකල්පයන් දෙකකි. ඉහතින් දක්වන ලද අක්ෂ ඇලයෙන් යුතුව පෘථිවිය සූර්යයා වටා තම කක්ෂයේ ගමන් කරයි. චන්ද්‍රයාගේ අක්ෂ ඇලයෙන් යුතුව සිය කක්ෂය වටා චන්ද්‍රයා ගමන් කරයි. මෙම ක්‍රියාවලියේදී පෘථිවි කක්ෂයත් චන්ද්‍ර කක්ෂයත් එකිනෙක ඡේදනය වන ස්ථාන දෙකක් ඇති වන්නේය. එහි උතුරු ලක්ෂය රාහු ලෙසත් දකුණු ලක්ෂය කේතු ලෙසත් ජ්‍යොතිෂයේදී නිර්වචනය කරයි. 

රාහු කේතු කියන මෙම ගමන් මග පෘථිවියේ සිට බැලීමේදී එය චන්ද්‍රයාගේ ගමන් මාර්ගය සූර්යයාගේ ගමන් මාර්ගය ඡේදනය කරන උපකල්පිත ලක්‌ෂ්‍යන් දෙකක් ලෙස වැඩිදුරටත් පෙනේ. මෙම රාහු සහ කේතු අංශක 180 ක රේඛාවක දෙකෙළවර පිහිටයි. මේ අනුව කේන්ද්‍ර සටහන්වල මේ දෙදෙනා සම සප්තකව පිහිටා ඇත. එනම් පුද්ගල කේන්ද්‍රයක එක ග්‍රහයෙකු 1 වෙනි කොටුව තුල නම් අනිත් ග්‍රහයා 7 වෙනි කොටුවේ සිටිනු ඇත. පළවෙනි ග්‍රහයා 6 වෙනි කොටුවේ නම් දෙවැන්නා 12 වෙනි කොටුවේය. රාහු සහ කේතු ග්‍රහයන් එකාකාරී වෙගයෙන් සාමාන්‍ය ග්‍රහයන් භ්‍රමණය වන අතට විරුද්ධ අතට භ්‍රමණය වේ.  රාහු සහ කේතු දිනකට අංශක 03 යි කලා 11 ක් ගමන් කරන අතර වර්ෂයකට අංශක 19 කලා 20 ක දුරක් ගමන් කරයි. එනම් මාස 18 ක කාලයක් මේ දෙදෙනා එක රාශියක ගමන් කරමින් රාශි චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා වසර 18 ක කාලයක් ගනී. (රාශි, අංශක, කලා යනාදිය ඉදිරියේදී ඉගෙන ගනිමු.) 

මෙසේ උපකල්පිත ලක්ෂ දෙකක් ග්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේදී හදුන්වන ලද්දේ ඇයි? පියවි ඇසට පෙනෙන ග්‍රහයන් මෙන්ම මෙම නොපෙනෙන ලක්ෂ්‍ය දෙකේ තිබෙන බලපෑම සුවිශේෂී වීම හේතුවෙනි. මෙම නොපෙනෙන ග්‍රහයන් වූ රාහු කේතු ජ්‍යොතිෂයේදී ඡායා ග්‍රහයන් ලෙස හඳුන්වයි. මේ දෙදෙනා ස්කන්ධයක් මෙන්ම කිරණ විහිදුවීමක්ද නැත. අඳුරේ ගිලී ඇති මෙම දෙපල කිරණ විහිදුවන රවිගේ සහ සඳුගේ පරම හතුරෝ ලෙස ජ්‍යොතිෂයෙදී පිලිගැනේ. 

එසේම යෝග කාරක, බාධක,  22 වැනි දෙර්කාණාධිපති යන ග්‍රහයන්ට රාහු සහ කේතු සම්බන්ධ නොවේ. එනමුත් මොවුන්ගේ බලවත්කමේ අඩුවකුත් නොවේ. ජ්‍යොතිෂයෙදී සැළකෙන ප්‍රබල දෝෂයක් වන කාලසර්ප යෝගයට මූලික වෙන්නේද මෙම රාහු සහ කේතු යන දෙදෙනාය. කාලසර්ප යෝගය ඇති කේන්ද්‍ර හිමියන්ට විවිධ අශුභ පල ජ්‍යොතිෂයේදී හිමි වේ. රාහු සහ කේතු එක් එක් ස්ථානයට සහ එක් එක් ලග්නවලට ඇති කරන පලපෑම් විවිධ වන අතර අපි ඒවා මතුවට සාකච්ඡා කරමු.      

0 comments :

Post a Comment