.

Tuesday, July 14, 2015

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

බ්‍රහස්පති සිංහ රාශියට පිවිසෙයි.

දොළොස් වසරකට පසු එනම් 2015 ජූලි 14 වෙනි අඟහරුවාදා (අද) පෙ.ව. 6.20ට මෙතෙක් සිය උච්ච භවන වූ කටක රාශියේ සිටි බ්‍රහස්පති ග්‍රහයා සිය මිත්‍ර රාශියක් වන සිංහ රාශියට පිවිසෙයි. ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

මීට පෙර අවසන් වරට ගුරු සිංහ රාශිගත වූයේ 2003 ජූලි මස 30 ‍වෙනිදාය. මෙවර ගුරු ග්‍රහයා 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. මේ කාල සීමාව තුල රටට සහ අපට සුවිශේෂී අත්දැකීම් සමුදායක් ප්‍රධානය කිරීමට මෙම ග්‍රහ මාරුව ඉවහල් වනු ඇත.

ගුරු මාරුව මගින් එකිනෙක ලග්නවලට එය බලපාන අයුරු ඉදිරිපත් කිරීමට පෙර ගුරු ග්‍රහයාගේ ස්වභාවය සහ ගුරු ග්‍රහයා ගෝචරය වන සිංහ රාශිය පිළිබඳව විමසීම එය වටහා ගැනීමට වඩාත් පහසු වනු ඇත.

තාරකා විද්‍යාවට අනුව අප ග්‍රහ මණ්ඩලයේ සිටින සූර්යාට පමණක් දෙවෙනි වන විශාලතම ග්‍රහයා බ්‍රහස්පතිය. බ්‍රහස්පති ග්‍රහයා උසට වඩා මහත ස්වරූපයකින් යුක්ත වන අතර බඳ මැදින් පිටතට පමණට වඩා නෙරා ගිය පෙනුමක් ගනී. එසේම බ්‍රහස්පති ගුරුත්වයෙන් සහ ස්කන්ධයෙන් වැඩි ග්‍රහයෙකුද වේ.

අප වෙසන පෘථිවියට එපිටින් එනම් සූර්යාගෙන් අනෙක් පසට සිටින අපට ආසන්නම ග්‍රහයා අඟහරු වන අතර ඉන්පසු බ්‍රහස්පති කක්ෂ ගත වේ. අඟහරු සහ බ්‍රහස්පති අතර විශාල ග්‍රහක වළල්ලක් ඇත. මෙම ග්‍රහක වළල්ලෙන් සහ අභ්‍යවකාශයේ අන් තැනක ගුරුත්වයකින් මිදී එන විවිධ ප්‍රමාණයේ ග්‍රහක කැබලි බ්‍රහස්පතිගේ අධික ගුරුත්වය නිසා ඒ මතට ඇද ගනී. ඒ අතර විෂ වායු අඟහරු විසින් උකහා ගනී. මේ හේතුවෙන් පෘථිවි වාසීන් වන අපට මෙම ග්‍රහයන් දෙපොළගෙන් විශාල සේවාවක් ඉටු වේ. මේ අනුව ග්‍රහ මණ්ඩලය අතරින් වෙනත් ග්‍රහයන් වෙත ග්‍රහකවලින් වෙන විනාසයෙන් බේරා දීමට බ්‍රහස්පති සමත් වේ.

මෙම තාරකා විද්‍යානුකූළ සත්‍යයය ජ්‍යොතිෂයේදීද බ්‍රහස්පතිට ආරෝපණය කර ඇත. එනම් බ්‍රහස්පති හෙවත් ගුරු පරහිතකාමීය. ලෝකෝත්තර ගුණයෙන් අනූනය යන්නයි. මේ අයුරින් ජ්‍යොතිෂයේදී ග්‍රහයන් පිළිබඳව සහ ඒ ඒ ග්‍රහ තාරකාවන්ගෙන් ඉටුවන සේවය වඩාත් තේරුම් ගැනීමට පහසු වන ලෙස විවිධ උපකල්පනයන් භාවිතා වේ. පුද්ගල චරිතවලට සමාන කර තිබීමෙන් මෙය තව දුරටත් පහසු වෙයි.

ඒ අනුව බ්‍රහස්පති හෙවත් ගුරු සෞම්‍ය ගති ඇති පුරුෂ ග්‍රහයෙකි. ලෝකෝත්තර ඉෂ්ට ගති ඇති හේ බ්‍රාහ්මණ වංශයට අයත්ය. අධ්‍යාපනයටද කාරකත්වක් ඇති ඥාණකාරක ගුරුට ධනකාරකත්වය සහ පුත්‍රකාරකත්වයද හිමිය. පරාර්ථකාමීත්වය, විශ්වාසී වූ ගුණ යහපත්කම, ගෞරවාන්ත බව සහ අනුනට ගෞරව කිරීමේ ලැදිකම, උගත්කම, ඥාණවත්තකම, තාර්කිකත්වය, උපදේශකත්වය, නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව, සිත එකඟ කර ගැනීම, භාවනාව, නිරෝගීකම, ඇතුළු බොහොමයක් ශුභ චර්යාවන් ගුරු සතුය. ශක්‍ර දෙවියන්ටත් අධිපති වූ නිසා සුරගුරු ලෙසද හඳුන්වයි. සුරගුරු, දේවගුරු, බ්‍රහස්පති, ප්‍රශාන්ත, චන්ද්‍ය, අංගාරා, අංගීරස, ජීව, රිජ්‍ය, ආර්යය, වාගීශ, දෛවේෂ, වාචාංපති හා මන්ත්‍රී යන පර්යාය නාමයන්ගෙන්ද ගුරු ග්‍රහයා හඳුන්වයි.

ගුරු බලවත් වූ කෙනෙක්, බ්‍රහස්පති ග්‍රහයා සේම උසේ තරමට වඩා මහතින් වැඩි, පළල් වූ නළල් තලයක් ඇති හොඳින් වැඩුනු දත් ඇති දිගටි දෑස් හිමි ඉදිරියට නෙරා ආ පපුව සහ උදරය සහිත ගාම්භීර කටහඬක් හිමි පෙනුමකින් යුක්තය.

ගුරු ග්‍රහයාගේ ගති ස්වභාවය දැන් ඔබට වටහා ගත හැකිය. මෙම ගුරු ග්‍රහයා අද සිට වසරකට වැඩි කාලයක් ගෝචරය වෙන්නේ සිංහ රාශියේය. කෙනෙකුගේ ගති පැවතුම් තමා සිටින පරිසරය අනුව හැඩ ගැසෙනවා වෙනස් වනවා සේ ගුරු ග්‍රහයාගේ ගති පැවතුම් ද සිංහ රාශියට අනුව හැඩ ගැසේ. ඒ අනුව කුමක් සිදුවේද යන්න විමසීමට පළමුව සිංහ රාශිය ගැන වටහා ගැනීම අවශ්‍ය වේ.

මෙතෙක් කල් මෘදු මොළොක් යහපත් වූ පහන් සිතිවිලි සහ චංචල ගති සහිත මව නියෝජනය කරන ලද ලග්නාධිපති සඳු වූ කටක රාශියේ සිටි ගුරු ග්‍රහයා අද දින සිට නව ගමනක් යෑමට පියාගේ නිවස වෙත පා තබා ඇත.

රාශි චක්‍රයේ පස්වැනි රාශිය සිංහ රාශියයි. සිංහයෙකුගේ රූපයෙන් හඳුන්වයි. නක්ෂත්‍රයට අනුව සිංහය පුරුෂ රාශියකි. උත්තර රාශියකි. තේජෝ ගුණැති ගිනි රාශියකි. තිර රාශියකි. දීර්ඝ රාශියකි. වඳ රාශියකි. කෘෘර රාශියකි. සිංහ රාශියේ ලග්නාධිපතියා රවිය.

සිංහ රාශියේ අධිපති වූ රවි ග්‍රහ මඩුල්ලේ පියා ලෙස සැළකේ. රවි ජ්‍යොතිෂයේදී කෘෘර ගති ඇති පුරුෂ ග්‍රහයෙකි. දකුණු දිශාවට සහ දිවා කාලයට බලවත් අග්නි දේවතාවට සහ තේජෝ භූතයට අයත්ය. තඹ වර්ණයට හිමිකම් කියන රවි ක්ෂත්‍රිය වංශයට අයත්ය. රවිට සිංහයේ මුල් අංශක 20 මූල ත්‍රිකෝණ වන අතර අග අංශක 10 ස්වක්ෂේත්‍ර වේ.


ජ්‍යොතිෂයට අනුව රවිගේ ගති ස්වභාවය මෙසේය. පළල් උරහිස් ඇති හිසේ කෙස් අඩු ශරීරයේ රෝම අඩු පැණි පැහැති දෑස් හිමි උසින් අඩු ශක්තිමත් සිරුරක් ඇති මැදි වයසේ අයෙකි. මනා පෞරුෂත්වයකින් හෙබි ධාර්මිෂ්ඨ තියුණු බුද්ධිය සහිත උද්යෝගීමත් මෙන්ම දැඩි ආත්ම ශක්තියක් ඇති නියමිත වෙලාවට වැඩකරන අනුන්ගෙන් සැළකිලි ලබන අඩුවෙන් නමුත් ඇත්ත කතා කරන නීති ගරුක අයෙකි. රවිට එක තැනක වැඩි කාලයක් එක තැනක සිටීමේ හැකියාව නැත.

දැන් අපි ගුරු ග්‍රහයාගේ ගති ස්වභාවයත් ගුරු ගෝචරය වන සිංහ රාශිය ගැනත් සිංහයේ අධිපතිකම දරණ රවිගේ ස්වභාවයත් විමසා හමාරය. ඉන් පසු මේ ත්‍රිත්වය එකට කලතා එහි ඵලය එක් එක් ලග්න හිමියන්ගේ සිංහ රාශිය අදාළ භාවය සැළකිල්ලට ගෙන පලාපල විමසිය යුතුය.

එහිදී සිංහ ලග්න හිමියන්ගේ 1 කොටුව වන ලග්න භාවයේත්, කටක ලග්නයට 2 වෙනි භාවය වූ ධනස්ථානයේත්, මිථුන ලග්න හිමියන්ගේ 3 වැන්න වූ වික්‍රමස්ථානයේත්, වෘෂභ ලග්න හිමියන්ගේ 4 හිමි නිවාසස්ථානයේත්, මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපනය නියෝජනය විද්‍යාස්ථානය සහ පුත්‍රස්ථානය වන 5 වැන්නේත්, මීන ලග්න හිමියන්ගේ රෝගස්ථානය සහ සතුරු ස්ථානය වශයෙන් සැළකෙන 6 වැන්නේත් මෙවර ගුරු ග්‍රහයා ගෝචරය වේ.

කලත්‍රස්තානය හෙවත් විවාහස්ථානය වූ 7 වෙනි භාවයේ කුම්භ ලග්න හිමියන්ට සහ 8 වැන්න වූ මෘත්‍යස්ථානයේ මකර හිමියන්ට මෙම ගුරු මාරුවේ ප්‍රතිපල ලැබේ. ධනු ලග්න හිමියන්ගේ පුණ්‍යස්ථානය වූ 9 වෙනි භාවයේත්, රැකියාස්ථානය වූ 10 වෙනි භාවයේ වෘශ්චිකයටත්, අයස්ථානය වූ 11 වෙනි භාවයේ තුලා ලග්න හිමියන්ටත් ගුරු ගෝචරය ශුභ ඵල හිමිය. කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානය වූ 12 වෙනි භාවයේ මෙවර ගුරු වර්ෂයකට අධික කාලයක් ගෝචරය වේ.

පියවරෙන් පියවර කරන ලද මෙම පැහැදිලි කිරීම් අනුව තම ලග්නයට ගුරුගේ සම්ප්‍රාප්තිය අනුව ප්‍රතිපල කේසේද යන්න ඉඟියක් දැනටමත් ඔබට ලැබී ඇතැයි සිතමි.

මේ එක් එක් භාවයේදී විවිධ කාරක ගුණයෙන් යුතුව සැරිසරන ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේද යන්න මී ළඟට සළකා බලමු.


0 comments :

Post a Comment