.

Thursday, July 1, 2021

තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

තුලා ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති සිකුරු කුජ  සමග සංයෝගය 10 - රැකියා දියුණුව හා ආදායම්. යෝගකාරක ශනි 4 ස්වක්ෂේත්‍රයි සස යෝගය උදා කර ඇත - දියුණුව, දේපල ලාභ. ගුරු 5 ත්‍රිකෝණ බලයෙනි - අධ්‍යාපනය හා දරු සම්පත්. රවි 9 - උත්සාහය. රාහු 8 කේතු 2 - නොසිතූ ධනය.)

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික තෘප්තිය අවසාන සති දෙක තුල නොමැති වීම ගැන හිත කලබල කර ගැනීමෙන් වළකින්න. යහපත් ධෛර්යය සහ ශක්තිය මත මාසය පුරාවටම සතුටින් සිටිය හැක.  මාසයේ මුල් සති දෙක අතර ඇසුරට ලැබෙන හිතවතුන් මාසය පුරාවටම සහ මතුවටත් ආරක්ෂා කර ගැනීමට සිතට ගන්න. මෙම මාසය තුලා ලග්න හිමි ඔබට උත්සාහයේ තරමටම ප්‍රථිපල ලබා ගත හැකි කාලයකි.


ධනය

මාසයේ මුල් සති දෙක තුල සහ අග සති දෙක තුල ආදායම් තත්වයේ පැහැදිලි වෙනසක් ඇති වෙන නිසා අනවශ්‍ය වියදම් පාලනය කරමින් අවශ්‍ය දේට පමණක් වියදම් කරන්න. ඒවිට  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට සහ ආදායම් වියදම් සමබර කර ගත හැකි වේ. ‌යාන වාහන ලාභ දේපල ලාභ ඇති වන කාලයකි.  කිසියම් දේපලක් නොමැති තුලා ලග්න හිමියන්ට ඒ් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට මෙය හොඳ කාලයකි. මව් පියන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. සුදුසුකම් තිබේ නම් නිවාස දේපල මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කිරීමට වුවත් මෙය සුදුසු කාලයක් බව ඉඳුරාම කිව හැකිය.


රැකියාව

මාසයේ පළමු සති දෙක තුල රැකියාවන්හි නියුතු අයට වැඩි මහන්සියක් නොමැතිව සතුටෙන් රැකියාවේ නිරත වීමට අවස්ථාව ලැබේ. රැකියා උසස්වීම් තනතුරු අපේක්ෂා කල අයගේ අරමුණු ඉටුවීමද සතුටට හේතු වෙයි. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ද වාසිදායක තත්වයක් අපේක්ෂා කල හැකිය. ඇසුරු කරන්නන් අතර හොඳ හිත දිනා ගනී. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් වෙනස් වීමට නියමිතයි. රැකියා සහ ව්‍යාපාර ‌ක්ෂේත්‍රයේ අවුල් වියවුල් ඇති වේ. තත්වය පාලනය කිරීමට ඒ් සඳහා වැඩි උත්සාහයක්දැරීමට සිදු වේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට කරන අයට යහපත් මානසිකත්වයක් ඇති වේ. උසස් අධ්‍යාපනයේ නිරත අයටද විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් ජය හිමිවේ. අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා නිසා ආඩම්බර විය හැකිය. 



ගෘහ ජීවිතය

යහපත් පෙම් සබඳතාවයන් ඇති වීමට පුලුවන්. විවාහ ගිවිස ගැනීමට සුදුසු අය දෙපාර්ශවයටම හමු වේ. යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ. දරුවන් බලාපොරොත්තු වන අයට පිංවත් දරුවන් ලැබේ. ගෙදර දොර බාහිර අලංකරණයට හිතයොමු වේ.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත්ය.  මෙතෙක් පැවති රෝග තත්වයන්ගෙන් මිදීම නිසා සිතට සහනය ගෙන දේ. එහෙත් දැනටමත් ප්‍රතිකාර ගන්නා යම් රෝගී තත්වයක් වේ නම් ඒවාට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.


විශේෂ

පවතින ග්‍රහචාරය අනුව මෙම මාසය තුලා ලග්න හිමියන්ට සුභ නිසා වැඩි යමක් කීමට අවශ්‍ය නොවේ. සෙනසුරු හා සිකුරු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයගේ සුභ පල තවත් වැඩි වෙන අතර, ගුරු හෝ රාහු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට තරමක් අශුභ පල දීමට හේතු වේ.









0 comments :

Post a Comment